CPA Comms Officer on 15 October, 2026

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිදු කරන ප්‍රකාශනය

Categories: Research and AdvocacyStatement
 

2026 ඔක්තෝබර් 8

2026 ඔක්තෝබර් මස  6 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතෙහි (මින් පසු පනත් කෙටුම්පත) අන්තර්ගතය පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය  දැඩි අවධානය යොමු කර සිටී. කෙටුම්පත පුළුල්, නොපැහැදිලි මෙන්  ම අතිශය විස්තාරිත භාෂාවකින් සම්පාදනය කොට තිබේ. එහි අර්ථවත් ආරක්ෂණ විධිවිධාන අඩංගු නොමැති තරම් වන අතර, ඇත්නම් ඒ ද ඉතා සුළු වශයෙනි. මෙම පනත්  කෙටුම්පත සාමාන්‍ය අපරාධ නීතිය යටතේ අප ඉතා අපහසුවෙන් දිනාගත් ආරක්ෂණ විධිවිධාන ආපසු හරවන්නක් බව දක්නට ලැබෙන්නකි. එය වදහිංසාව තහවුරු කිරීමට මෙන් ම මූලික අයිතිවාසිකම් දරුණු ලෙස සීමා කිරීමේ විභවතාවය සහිත, අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා තබා ගැනීමට ඉඩකඩ සලසන සමාන්තර පාලන ක්‍රමයක් නිර්මාණය කරයි. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේම මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ  කිරීම, රජය විසින් මේ මොහොත ම ඒ සඳහා යොදා ගැනීම සහ එහි අරමුණ පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරන්නකි. මෙය පනත් කෙටුම්පත පිළිබඳ මූලික ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කෙරෙන අතර, මෙමඟින් එකී පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඉතාමත් අහිතකර විධිවිධාන කිහිපයක් ගැන පමණක් අවධානය යොමු කෙරේ. මෙය පූර්ණ විශ්ලේෂණයක් නොවන අතර  ඉදිරියේදී මේ සම්බන්ධව වඩාත් සවිස්තරාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කටයුතු කරනු ඇත.

සංවිධානාත්මක අපරාධ පුද්ගලයන්ට, ප්‍රජාවන්ට, ආර්ථිකයට මෙන් ම  නීතියේ ආධිපත්‍යයට බරපතල හානි සිදු කරන බවත්, ඒ සඳහා ඵලදායී, බහු-විධ ප්‍රතිචාරයක් අවශ්‍ය වන බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පිළිගනී. කෙසේ වුවද, මෙම ක්ෂේත්‍රයට අදාළව සිදු කෙරෙන ඕනෑම ආකාරයක නීතියක් සම්පාදනය කිරීමේ දී ඒ සඳහා දැඩි සැලකිල්ල, පාරදෘශ්‍යභාවය මෙන් ම සැබෑ මහජන උපදේශනය අත්‍යවශ්‍ය වේ. නමුත් මෙහි දී එයින් කිසිවක් සිදුවී නැත. ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට මෙන් ම අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියට මෙතුළින් ඇති කළ හැකි බරපතල බලපෑම නොසලකා මෙම පනත් කෙටුම්පත කිසිදු මහජන උපදේශනයකින් තොරව සම්පාදනය කොට තිබේ.

මෙම පනත් කෙටුම්පත හඳුන්වා දෙනුයේ 2003 වසරේදී බලාත්මක කරන ලද  සහ 2006 වසරේදී ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරන ලද ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම පිණිස ඉදිරිපත් කරනු ලබන්නක් වශයෙනි. එකී සම්මුතිය අපරානුමත කොට වසර විස්සක් ගතවී තිබුණද, ඊට අදාළ වන පරිදි නීතිය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් කිසිදු මහජන සංවාදයක් පැවැති බවක් දක්නට නැත. එහෙයින් මෙකී පනත් කෙටුම්පත මෙතරම් කඩිනමින් සම්මත කර ගැනීමට කටයුතු කරන්නේ මන්ද යන්න බරපතල ගැටළු මතු කරන්නකි. මෙම පනත් කෙටුම්පත අවංක අරමුණකින් තොරව සම්පාදනය වූවක්ය යන්න විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අදහසයි. ජාත්‍යන්තර සම්මුතියට අනුකූල වීම සඳහා මෙම පනත් කෙටුම්පතේ අඩංගු බොහෝ කරුණු අත්‍යවශ්‍ය වන්නේ නැත. ජාත්‍යන්තර වගකීමක් ඉටු කිරීමේ මුවාවෙන්, මෙම පනත් කෙටුම්පත මගින් වෙනත් සහ ඒ හා සමාන නීති හරහා මෙතෙක් අප ඉතා අපහසුවෙන් දිනාගත් ආරක්ෂණ විධිවිධාන ආපසු හැරවීමට උත්සාහ ගනු ලබන බව ඒ අනුව කිව හැකිය. මෙම පනත ගෙන එනුයේ රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට පොරොන්දු වී ඇති මොහොතකය. ඒ අනුව,මෙමඟින් සිදුවන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වඩාත්ම විවේචනයට ලක්වූ ලක්ෂණ බොහොමයක් වෙනත් නමකින් නැවත හඳුන්වා දීමයි. කෙටුම්පත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත  මගින් හඳුන්වා දීමට බලාපොරොත්තු වන අතිශය මූලික කාර්යයපටිපාටික වර්ධනයන් පවා මුළුමනින්ම යටපත් කරන්නකි.

 මෙම පනත් කෙටුම්පතේ විෂය පථය අතිශයින් පුළුල් වූවකි. 3 වන වගන්තිය මගින් ”බරපතල අපරාධයක්” යන්න අර්ථ නිරූපණය කරනුයේ වසර හතරක හෝ ඊට වැඩි සිරදඬුවමකට යටත් කළ හැකි ඕනෑම වරදක් වශයෙනි. ඊට අමතරව තවත් වරදවල්  අඩංගු දීර්ඝ උපලේඛනයක් ද ඊට ඇතුළත් කර ඇත. ද්වී විවාහය, ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ සොරකමේ සිට බුද්ධිමය දේපළ හිමිකම් උල්ලංඝනය දක්වාත්, බලපත්‍ර නොමැතිව සූදු ක්‍රීඩාවේ නිරතවීම, වනාන්තර සම්බන්ධ වැරදි මෙන් ම රජයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම දක්වා වූ දණ්ඩ නීති සංග්‍රහය සහ වෙනත් නීති යටතේ ඇති බොහෝ වැරදි ප්‍රමාණයක් මෙයට ඇතුළත් වේ. කෙටුම්පතේ 66 වන වගන්තිය ප්‍රකාරව ”සංවිධානාත්මක අපරාධ කණ්ඩායාම සංස්ථාපනය වීමට ” සාමාජිකයන් තිදෙනෙකු සිටීම පමණක් ප්‍රමාණවත් විය හැකි අතර ඊට කිසිදු විධිමත් ව්‍යුහයක් පැවතීම අත්‍යවශ්‍ය වන්නේ නැත. මෙම විධිවිධාන පුළුල් හා නොපැහැදිලි වන අතර, සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තන්ට වඩා මෙම නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඉතා අවම නීතිමය ආරක්ෂාවන් හිමි වන බැවින් මෙය විශේෂයෙන්ම ගැටලුකාරී වේ. තවද තීරණ ගැනීමේදී විධායකයට විශාල අභිමතානුසාරී බලයක් භාවිත කිරීමට මෙතුළින් ඉඩ සැලසේ.

තවද, 4(2) වගන්තිය යටතේ, සාමාජිකත්වය තීරණය කිරීමේදී, අධිකරණයට කිසියම් තැනැත්තෙකුගේ ඇඳුම් විලාසිතා, හස්තමුද්‍රා, පච්ච සටහන්, ආශ්‍රිතයන් සහ ඔවුන් ගැවසෙන පරිශ්‍රයන් පවා සැලකිල්ලට ගත හැකිය. මෙම විධිවිධාන මගින් වරදකාරී චර්යාවකට වඩා යම් ආකාරයක සමාගමයක් අපරාධයක් බවට පත් කිරීමේ අවදානමක් පවතී. තරුණයන්, ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවන්, විරෝධතාකරුවන් සහ වෙනස් මත දරන්නන්ට එරෙහිව මෙකී ප්‍රතිපාදන භාවිත විය හැකිය.

මෙම පනත් කෙටුම්පත මගින් සමාන්තර රැඳවුම් ක්‍රමයක් ස්ථාපනය කරයි. 20(1) වගන්තිය යටතේ, අත්අඩංගුවට ගැනීමෙන් පැය 72 ක් දක්වා සැකකරුවෙකු මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ. ඉන්පසු පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාට (විධායක නිලධාරියෙකි) 21 වන වගන්තිය යටතේ අදාළ තැනැත්තා වසරක් දක්වා පොලිස් අත්අඩංගුවේ රඳවා තබා ගැනීමට අවසර දෙන රඳවා තැබීමේ නියමයන් නිකුත් කළ හැකිය. 20(3)(අ) වගන්තිය යටතේ, මහේස්ත්‍රාත්වරයාට කිසිදු අභිමතානුසාරී බලයක් හිමි නොවන අතර එවැනි නියමයකට බලාත්මක භාවය ලබා දිය යුතුය. 25 වන වගන්තිය ප්‍රකාරව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තැනැත්තන් නැවත පොලිස් භාරයට පත් කොට හුදෙකලා කර හැකිය. තවද,කෙටුම්පතේ 23 වන වගන්තිය යටතේ, ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයට පමණක් වන අතර, ඇතැම් අවස්ථාවලදී එය අතිවිශිෂ්ට කරුණු වලට පමණක් සීමා වේ. තවද අධිචෝදනා පත්‍ර භාරදීමට පෙර සැකකරුවෙකු වසරක් දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමටද පනත යටතේ අවස්ථාව ලබා දී තිබේ. සීමිත අධිකරණ අධීක්ෂණයක් සහිතව, විධායක නියෝග යටතේ කිසියම් තැනැත්තෙකු දිගු කාලයක් පොලිස් අත්අඩංගුවේ රඳවා තබා ගැනීම වදහිංසාවන්ට මෙන් ම අවමන් සහගත සැලකිළි වලට අදාළ තැනැත්තා භාජනය වීමට අදාළ පරිසරය සෘජුවම නිර්මාණය කරන්නකි.

සාක්ෂි විමසීමට අදාළව පනත් කෙටුම්පතේ දක්වා ඇති විධිවිධාන මගින් මෙකී අවදානම් තවත් ඉහළ නංවා තිබේ. පනත් කෙටුම්පතේ 46 වන වගන්තිය මගින් සාක්ෂි ආඥාපනතේ 25, 26 සහ 30 යන වගන්තිවල ඇති ආරක්ෂණ විධිවිධාන ඉවත් කොට තිබේ. 47 වන වගන්තිය මගින් සහකාර පොලිස් අධිකාරීවරයෙකු  හෝ ඊට ඉහළ නිලයක් දරන පොලිස් නිලධාරීන් ඉදිරියේ  කරනු ලබන පාපොච්චාරණයන් සාක්ෂි ලෙස ආවේශ්‍ය කළ හැකි බවට පත් කොට තිබේ. පුද්ගලයන්ට තර්ජනය කොට පාපොච්චාරණ ලබා ගැනීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ දීර්ඝ මෙන් ම ලේඛනගත ඉතිහාසය එවැනි ආරක්ෂණ විධිවිධානයන් නීතියට ඇතුළත් කිරීමට හේතු වී තිබේ. කෙටුම්පතේ 48 වන වගන්තිය ප්‍රකාරව හරස් ප්‍රශ්න ඇසිය නොහැකි පුද්ගලයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ ද සාක්ෂි ලෙස ආවේශ්‍ය කර ගත හැකිය. 50 වන වගන්තිය ප්‍රකාරව කණ්ඩායමක සාමාජිකත්වය තහවුරු කිරීම සඳහා අතීත චර්යාවන් මෙන් ම සමාගමයන් පිළිබඳ සාක්ෂි ආවේශ්‍ය කර ගත  හැකිය.

නිසි මහජන උපදේශනයකට ලක් කොට නොමැති වීම යන්න පනත් කෙටුම්පත කෙටුම්පත් කර ඇති ආකාරයෙන්ම පැහැදිලි වන්නකි. 3වන වගන්තියේ සීමාවන් තුළ සිරදඬුවම ” දෙයාකාරයකින් එක් ආකාරයක” යන්නට පමණක් සීමා කරන බැවින්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ මංකොල්ලකෑම් වැනි මරණීය දණ්ඩනය හෝ බරපතල වැඩ සහිත සිරදඬුවම් මඟින් පමණක් දඬුවම් කෙරෙන අපරාධ තර්කානුකූලව මෙම පනත් කෙටුම්පතේ විෂය පථෙයන් පිටතට වැටෙන තත්වයක් නිර්මාණය විය හැකිය. මෙතරම් වැදගත් නීතියක් අදාළ වන ආකාරය පිළිබඳ මෙවැනි මූලික අවිනිශ්චිතතාවන් සහිතව සම්මත කිරීම සිදු නොකළ යුත්තකි.

 විමර්ශන බලතල සම්බන්ධයෙන් අර්ථවත් ආරක්ෂණ විධිවිධාන ද මෙම පනත් කෙටුම්පත ට අන්තර්ගතව නැත. 17 වන වගන්තිය මගින් වරෙන්තුවක් නොමැතිව සෝදිසි කිරීමට අවසර දෙන අතර, 28 සහ 45 වගන්ති මගින් සන්නිවේදනයන් අවහිර කිරීම ඇතුළු ඩිජිටල් ආවේක්ෂණය සඳහා ප්‍රතිපාදන සපයයි. 44(4) වගන්තිය යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට කිසිදු අධිකරණ නියෝගයකින් තොරව ග්‍රාහක දත්ත, ඇමතුම් දත්ත මෙන් ම පිහිටුම් දත්ත ලබා ගත හැකිය. තවද 45 වන වගන්තිය යටතේ, කේතනය කළ උපකරණයක ඇති අවහිර කිරීම් මුදා හැරීමට ඔවුන්ට බල කළ හැකිය. 65 වන වගන්තිය මගින් පොලිසිය වෙත තොරතුරු ලබා දීමට ඇති පුළුල් නීතිමය බැඳීමක් නිර්මාණය කරන අතර, 14 වන වගන්තිය මගින් අධිකරණ කටයුතු මාධ්‍ය මගින් වාර්තා කිරීම සීමා කොට තිබේ. මෙම විධිවිධාන සියල්ල එක්ව ගත් කළ පෞද්ගලිකත්වයට ඇති අයිතියට, භාෂණයේ නිදහසට මෙන්ම සාධාරණ නඩු විභාගයකට ඇති අයිතියට එල්ල කරනුයේ බරපතල තර්ජනයකි. තවද, 59 වන වගන්තිය ප්‍රබල මුක්ත කිරීමේ වගන්තියක් ලෙස ක්‍රියා කරමින් නිලධාරීන් තවදුරටත් වගවීමෙන් ආරක්ෂා කොට තිබේ.

කිසියම් නීතියක් තුළින් පුළුල් සහ නොපැහැදිලි ලෙස අර්ථ නිරූපණය කර ඇති බලතල ලබා දුන් පසු, එකී බලතල අඛණ්ඩව මෙන් ම අනිසි අයුරින්ද භාවිත කෙරෙන බව ශ්‍රී ලංකාවේ අත්දැකීම් මඟින් පෙන්වා දෙන්නකි. සංවිධානාත්මක අපරාධ යනු ඵලදායී ප්‍රතිචාරයක් අවශ්‍ය වන බරපතල ගැටලුවකි. එම ප්‍රතිචාරය ස්ථිර කරන ලද හදිසි අවස්ථා නීතියක ස්වභාවය රැගත් බලතල මගින් නොව, නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සහතික කිරීම් මත පදනම් විය යුතුය.

මෙකී බරපතල ගැටලු සැලකිල්ලට ගනිමින්, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත, තත් කාලීන ස්වරූපය යටතේ ,වහාම හකුලා ගන්නා ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය රජයෙන් ඉල්ලා සිටී. මූලික අයිතිවාසිකම් යටපත් කිරීමේ අවදානමක් සහිත නීති සැබෑ පරීක්ෂාවකින්, පාරදෘශ්‍යභාවයකින් සහ මහජන සහභාගීත්වයකින් තොරව කඩිනමින් සම්පාදනය නොකළ යුතුය. ඕනෑම අලුත් නෛතික රාමුවක් සකස් කළ යුත්තේ අත්තනෝමතිකභාවයට හෝ විධායකය විසින් එය අවභාවිත කිරීමට එරෙහිව බලාත්මක කළ හැකි පැහැදිලි ආරක්ෂණ විධිවිධාන සහිත විවෘත හා අර්ථවත් සාකච්ඡාමය ක්‍රියාවලියකින් පමණි. සංවිධානාත්මක අපරාධවලට එරෙහි සටන, පාලනයකින් තොරව රාජ්‍ය බලය ව්‍යාප්ත කිරීමට, සිවිල් සමාජ අවකාශය සීමා කිරීමට හෝ නීතිය මගින් ආරක්ෂා කිරීමට අපේක්ෂිත අයිතිවාසිකම් සහ නිදහස අහෝසි කිරීමට ව්‍යාජ හේතුවක් ලෙස උපයෝගී කර නොගන්නා බවට රජය සහතික විය යුතුය.