CPA Comms Officer on 5 October, 2026

2026 සැප්තැම්බර් මස රජයේ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සිදු කරනු ලබන ප්‍රකාශනය

Categories: Research and AdvocacyStatement
 

වසර  2026ක් වූ සැප්තැම්බර් මස  22 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය කනස්සල්ල පළ කර සිටී. මෙම පනත් කෙටුම්පතේ පූර්ව පිටපතක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් 2025 දෙසැම්බර් මස   ප්‍රසිද්ධියට පත් කළ අතර, ඒ සම්බන්ධ මහජන අදහස් මසක් ඇතුළත ලබා දෙන ලෙස ජනතාවට ඇරයුම් කරන ලදී. එකී කෙටුම්පත මෙන් ම ඒ පිළිබඳ සැබෑ මහජන සංවාදයක ඇති අවශ්‍යතාව පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මුලින්ම කරුණු කිහිපයක් ඉස්මතු කළ අතර, පසුව අධිකරණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කෙරෙන නිශ්චිත නිර්දේශ ඇතුළත්ව, එහි විධිවිධාන පිළිබඳව වඩාත් සවිස්තරාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී.

අලුතින් යෝජිත 2026 ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත, එහි සමස්ථ ව්‍යුහය අතින් ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (2025),ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත(2018 ) සහ ත්‍රස්ත විරෝධී  පනත් කෙටුම්පත (2023 / 2024) යන පනත් කෙටුම්පත්වලට බෙහෙවින් සමාන වන අතර, එහි ඇතැම් නිශ්චිත විධිවිධානවලට පමණක් යම් යම් වැඩිදියුණු කිරීම් ඇතුළත් කර ඇති බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කනස්සල්ලෙන් යුතුව අවධාරණය කර සිටී. තවද, 2026 පනත් කෙටුම්පත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ස්ථාපනය කොට ඇති ප්‍රශ්නගත නීතිමය අත්තිවාරම මතම පදනම් වීමට උත්සාහ කරන බැවින් එය බෙහෙවින් ගැටලුකාරී වේ. එබැවින්, 2026 ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා ලෙසත්, රජයේ මැතිවරණ ප්‍රකාශනයට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන ලෙසත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය රජයෙන් ඉල්ලා සිටී. එමෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් පවතින දීර්ඝකාලීන ගැටලුවලට පිළිතුරු සපයන මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අගයන්ට අනුකූල වන අයුරින් ආරක්ෂක ගැටලු විසඳිය හැකි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කොන්දේසි විරහිතව අහෝසි කළ යුතු අතර, එවැනිම පුළුල් බලතල සහිත වෙනත් නීතියකින් එය ප්‍රතිස්ථාපනය නොකළ යුතුය යන සිය පූර්ව ස්ථාවරය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නැවත නැවතත් අවධාරණය කරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අධික ලෙස පුළුල්, අපැහැදිලි අර්ථ නිරූපණයන්ගෙන් යුක්ත මෙන් ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන විධිවිධාන රාශියකින් සමන්විත වන්නකි.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා වූ ඉල්ලීම අහිතකර විධිවිධාන කිහිපයක් වෙනස් කිරීමට පමණක් සීමා නොවූ අතර, එහි පැවති මර්දනකාරී රාමුවම මුළුමනින්ම අහෝසි කිරීම අරමුණු කරගනු ලැබූවක් විය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මීට පෙරද ප්‍රකාශ කර ඇති පරිදි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කළ තැන් පටන්ම මර්දනකාරී මෙවලමක් ලෙස භාවිත වී ඇති අතර, එය වදහිංසා පැමිණවීම මෙන් ම වෙනත් ආකාරවල අවභාවිතයන් සඳහා ද මන් විවර කොට තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සැබෑ ආරක්ෂක ගැටලු සහ එහි පුරවැසියන්ගේ අයිතිවාසිකම් හා නිදහස අතර නිසි සමතුලිතතාවක් ඇති කළ හැකි නීතියකදෘෂ්ටිකෝණයෙන් බැලූ කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දැක්විය හැක්කේ ඉතා දුර්වල මිනුම් ලකුණක් වශයෙනි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා යම් තාක් දුරකට යහපත් වීම පමණක්, ත්‍රස්ත විරෝධී පනත් සම්පාදනයේදී නීත්‍යානුකූලභාවය, අවශ්‍යතාව, සමානුපාතිකභාවය සහ වෙනස්කම් නොකිරීම යන මූලධර්ම තදින්ම සුරැකිය යුතු බවට වන ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සහතික කිරීම්වලට සහ ජාත්‍යන්තර බැඳීම්වලට 2026ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අනුකූල කරවීමට ප්‍රමාණවත් වන්නේ නැත.

2026 ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මඟින්, කාර්යයපටිපාටික ආරක්ෂණයන් කිහිපයක් ඇතුළත් කර තිබුණද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි අන්තර්ගතව පැවති එම මූලික අඩුපාඩුම තවදුරටත් පවත්වාගෙන යන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයඅවධාරණය කරයි. ඒ අනුව, පහත සඳහන් කරුණු පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය කනස්සල්ල පළ කර සිටියි;

  • 2026 ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත හි එන ත්‍රස්තවාදී වරද පිළිබඳ අර්ථ නිරූපණය, යම් යම් වැදගත් සංශෝධනයන්ට ලක් කර තිබුණද, තවදුරටත් ඉතා පුළුල් පරාසයක පවතියි. එවැනි වරදක් සම්බන්ධයෙන් හෝ එවැනි වරදකට අනුබල දීම සම්බන්ධයෙන් සැක කරුවෙකු බවට පත්වන ඕනෑම තැනැත්තෙකු සාමාන්‍ය නීතියට වඩා දැඩි වූ නීතිමය රාමුවකට යටත් වීම පිළිබඳ සලකා බැලීමේදී මෙය විශේෂයෙන්ම ගැටලුකාරී වේ.
  • එවැනි නීතිය බලාත්මක කිරීමේ කාර්යයන් සඳහා හමුදාව සම්බන්ධ කර ගැනීම සුවිශේෂී අවස්ථාවලදී පමණක් සිදු කළ යුතුය යන සම්මතය නොසලකා හරිමින්, පොලිස් බලතල සහ නීතිය බලාත්මක කිරීමේ බලතල හමුදාව වෙත පැවරීමේ ක්‍රියාමාර්ගය මෙම පනත් කෙටුම්පත මඟින් තවදුරටත් පවත්වාගෙන යනු ලබයි.
  • විධායකය විසින් නඩු විභාගයට පෙර සැකකරුවන් රඳවා තබා ගැනීමට (රැඳවුම් නියෝග) මෙම පනත් කෙටුම්පත මඟින් ඉඩ සලසා තිබේ.මෙහි දී යම් යම් කාර්යයපටිපාටික ආරක්ෂණයන් ඇතුළත් කර තිබුණද, විධායකය මඟින් සිදු කරනු ලබන මෙවැනි රඳවා තබා ගැනීම් බලතල බෙදීමේ මූලධර්මයට සම්පූර්ණයෙන්ම පටහැනි වන අතර ජනතාවගේ අධිකරණ බලය අන්සතු කිරීමක් වන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ස්ථාවරයයි.
  • මෙම පනත් කෙටුම්පත මගින් අදහස් ප්‍රකාශ කිරීමේ සහ සංගම් පිහිටුවීමේ නිදහසට සැලකිය යුතු සීමා පනවා ඇත.
  • පොලිසිය හමුවේ කරනු ලබන පාපොච්චාරණ එම ආකෘතියෙන්ම සාක්ෂි ලෙස පිළිගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවති යාන්ත්‍රණය මෙම පනත් කෙටුම්පත මඟින් ඉවත් කොට තිබේ. කෙසේ වුවද, සැකකරුවන් විසින් මහේස්ත්‍රාත්වරුන් හමුවේ කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් වූ විශේෂ සාක්ෂිමය රාමුවක් පනත් කෙටුම්පත මඟින් තවදුරටත් පවත්වාගෙන යනු ලබයි. විශේෂයෙන්ම සැකකරුවෙකු විධායක රැඳවුම් භාරය යටතේ පසුවන අවස්ථාවකදී, පවතින ආරක්ෂණයන්හි ප්‍රමාණවත්භාවය සම්බන්ධයෙන් දැඩි කනසල්ලක් පවතී.

ඉහත දක්වනු ලැබුවේ සමස්ථ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පවතින මූලික ගැටළු අතුරින් කිහිපයක් පමණි. ඉතා පුළුල් අර්ථකතන යොදා ගැනීම, විධායකය විසින් පුරවැසියන් රඳවා තබා ගැනීම මෙන්ම විධායකය වෙත වැඩි බලතල පවරා ගැනීම හඳුනා ගත හැක්කේ ශ්‍රී ලංකා පොලිසිය තුළ පවතින මූලික ගැටලු වසා දැමීම සඳහා භාවිත කරන කෙටි මාවත් වශයෙණි. දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා පොලිසිය හමුදාකරණයට සහ දේශපාලනකරණයට ලක්වීම හේතුවෙන්, සංකීර්ණ පරීක්ෂණවල කාර්යක්ෂමව නියැලීමට පොලිසියට ඇති හැකියාව අඩපණ වීම ඇතුළු ව්‍යුහාත්මක ගැටලු රාශියක් නිර්මාණය වී තිබේ. අනුප්‍රාප්තිකව පත් වූ රජයන් මෙකී මුල් බැසගත් ගැටලුවලට විසඳුම් ලබා දීමට අපොහොසත් වූ අතර, ඒ වෙනුවට පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව බරපතල ලෙස අඩපණ කරන තාවකාලික පැලැස්තර විසඳුම් ලබා දීමට උත්සාහ ගනු ලැබීය.

2026 ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ද මෙම ප්‍රවේශයම තවදුරටත් පවත්වාගෙන යාමක් වන අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පදනම් රාමුව තුළ පවතින මුල් බැසගත් ගැටලුවලට එමඟින් පිළිතුරු සැපයීමක් සිදු නොවන බවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කනගාටුවෙන් යුතුව අවධාරණය කර සිටී. මෙම ප්‍රවේශය නිරර්ථක ප්‍රතිඵල උත්පාදනය කරන අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දනකාරී පනත් අහෝසි කිරීමට ජනාධිපතිවරයා සහ ජාතික ජන බලවේග රජය ලබා දුන් මැතිවරණ පොරොන්දුවට ද පටහැනි වන්නකි.

එහෙයින්, 2026 ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා ලෙසත්, දිගුකාලීන ගැටලුවලට පිළිතුරු සපයන මෙන් ම, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අගයන්ට අනුකූල වන අයුරින් ආරක්ෂක ගැටලු විසඳිය හැකි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ආරම්භ කරන අතරතුරම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන ලෙසත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය රජයෙන් ඉල්ලා සිටී.